අනිත්‍ය නිසා දුකද?
අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්‍ෂණය බුදුදහමේ පදනම හැටියට සලකන්න පුළුවන්. කොටින්ම අනිත්‍යතාවය නැතිනම් බුදුදහමේ අවශ්‍යතාවය පවා නැතුව යනව. අපි මුලින්ම බලමු මොකක්ද මේ අනිත්‍ය බව කියන්නෙ කියල.
අනිත්‍ය කියන වචනයෙන් නිත්‍ය නොවේ කියන අදහස ගම්‍ය වෙනව. යමක් වෙනස් වෙනව නං, එය අනිවාර්යයෙන්ම අනිත්‍ය වෙනව. වර්ධනය, විකසනය, දිරා යාම, චලනය ආදී සියලු වෙනස්වීම් මේ අනිත්‍ය කියන ස්වභාවය යටතට වැටෙනව. බුදුදහම අනුව ගත්තොත් රූපයේ මුලිකම තැනුම් ඒකකයක් වෙන (කුඩාම තැනුම් ඒකකයත් වෙනව) ශුද්ධාෂ්ඨකය පවා චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා වෙනස් වෙනව.
[චිත්තක්ෂණය කියල කියන්නෙ හරිම සිත් ඇදගන්නා සුළු මිනුමක්. බුදුදහමට අනුව ඒක තමයි කාලය මනින්න පුළුවන් කුඩාම ඒකකය. කොහොමද චිත්තක්ෂණය කුඩාම ඒකකය වෙන්නෙ. ලෝකය දකින්නෙ, අත්විඳින්නේ සත්වයන් විසින්. අවස්තා දෙකක් හැර අනිත් සෑම අවස්ථාවකම සත්වයන්ට සිත් පහල වෙනව. සත්වයන් ලෝකය දකින්නෙ සිතෙන්. (ඇහෙන් කරන්නෙ පේන එක විතරයි. දකින්න නං සිත මැදිහත් වෙන්නම ඕනි) මේ හිතෙන් දකින ලෝකයේ හිතට දකින්න පුළුවන් කුඩාම කාල ප්‍රාන්තරය තමයි චිත්තක්ෂණය. සත්වයා කෙතරම් උසස් උනත්, පහත උනත් හැම සිතකම චිත්තක්ෂණයක කාලය එක සමානයි. දෙවියෙක්, බ්‍රහ්මයෙක් හෝ බුදුවරයෙක් වේවා, මනුෂ්‍යයෙක්, තිරිසනෙක් හෝ නිරීසත්වයෙක් වේවා, ඔනෑම සත්වයෙක්ගේ සිත් වල චිත්තක්ෂණ වල කාල ප්‍රාන්තරය එක සමානයි.]
දැන් ඔක්කොම අනිත්‍යද? - බුදුදහමේ සියල්ල අනිත්‍යයි කියල කියන්නෙ නෑ. බුදුදහමේ කියන්නෙ සියලු සංඛතධර්මයෝ අනිත්‍යයි කියල. එතකොට සංඛතනොවන ධර්මයෝ නිත්‍ය ද? ඔවු. නිත්‍ය වෙන එකම එක අසංඛතධර්මයක් තියනව. ඒ තමයි නිර්වාණය එහෙමත් නැත්තං නිවන. “සබ්බේ සංඛාරා අනිච්චාති - යදා පඤ්ඤාය පස්සති” කියන ධම්මපද පාඨය සලකනකොටත්, “අනිච්චා වත සඞ්ඛාරා උප්පාදවයධම්මිනො උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො” කියන මහාපරිනිර්වාණ සුත්‍ර පාටයෙනුත් තේරෙනව සියල්ල නෙවෙයි අනිත්‍ය වෙන්නෙ සියලු සංස්කාරයෝ තමයි අනිත්‍ය වෙන්නෙ කියල. මෙතන අනිත්‍යතාවය සාධාරණ වෙන සංස්කාර කියන්නෙ හේතුප්‍රත්‍යයන්ගේ බලපෑම නිසා හටගන්නා සියලු ධර්මයන්ට.
අනිත්‍ය ඔක්කොම දුකක් ද? - ගොඩක් අය වැරදි විදිහට හිතාගන ඉන්න දෙයක් තමයි මේක. සියල්ල අනිත්‍යයි, අනිත්‍ය සේරම දුකයි කියල තමයි ගොඩක් දෙනා සාමාන්‍ය ව්‍යවහාරයේදි කියන්නෙ. කලින් පෙන්නල දුන්න සියල්ල අනිත්‍යයි කියල කියන කථාව වැරදියි කියල. ඒ වගේම තමයි අනිත්‍ය දේවල් දුකයි කියන එකත් වැරදියි. අපි දැන් මේ දිහා වෙනස් කෝණයකින් බලමු. හැමෝටම මුහුණදෙන්න වෙන දෙයක් තමයි වයසට යාම. අනිත්‍ය නිසා අපි වයසට යනව. වැහැරෙනව. එතකොට අපිට දුකක් දැනෙනව. අපි විතරක් නෙවෙයි රහතන්වහන්සේලාත් වයසට යනව. නමුත් ඒක උන්වහන්සේලාට දුකක් නෙවෙයි. ඇයි එකම විදිහට වැඩකරන අනිත්‍යතාවය රහතන්වහසේලාට දුකක් නොවෙන්නෙ. ඒ උන්වහන්සේලා අවිද්‍යාව ප්‍රහීන කරපු නිසා. අවිද්‍යාවෙන් අන්ධ වෙච්ච පෘථග්ජනයන් අනිත්‍ය වූ සංස්කාර (සඞ්‌ඛතසඞ්‌ඛාර) එක්ක ගණුදෙනු කරල සංස්කාර (අභිසඞ්‌ඛරණසඞ්‌ඛාර) රැස් කරනව. අවිද්‍යාව නිසාම අනිත්‍ය වූ සංස්කාරයෝ සුඛ දුක්ඛ හැටියට අල්ලගන්නව. සසර දික් කරගන්නව.
හැබැයි එකක්, අනිත්‍යවූ සංස්කාර වල සුඛයි කියල ගන්න අබඇටයක තරම් දෙයක්වත් නෑ. සැපයි කියල සලකන සෑමදෙයක්ම වගේ ලබාගන්න සෑහෙන්න දුක් විඳින්න වෙනව.
අනිත්‍ය වූ සංස්කාර අවිද්‍යාව නිසා අල්ලගන සංස්කාර රැස්කරමින් සසර දික් කරගන්නවාට වඩා ලැබෙන හැම මොහොතකම අවිද්‍යාව ප්‍රහීන කරන්න උත්සාහ දරන එක බොහොම වටිනව.
References
Image Credits
Comments