ලොක්ඩවුන්

Adeesha
Written by Adeesha on
ලොක්ඩවුන්

2020 - මාර්තු - 17 ලියපු ලිපියක්. නැවත පළකරන්න සුදුසුයි කියල හිතුන

ලොක්ඩවුන්

දැන් ඉතිං කොරෝනා පරදාගෙන ලංකාවේ බුකි තරුව වෙලා තියෙන්නෙ ලොක්ඩවුන් කියන මතෘකාව. ගෘප් හදාගෙන, ප්‍රොෆයිල් පික්චර් වෙනස් කරගන, හෑෂ් ටැග් දාගෙන සෑහෙන ලොකු ප්රෝපගැන්ඩා එකක් යනව. මේ උත්සාහය ලොක්ඩවුන් ගැන පොඩ්ඩක් හොයල බලන්න. නැත්තං ආයෙත් කොනේ ඉන්න වෙන්නෙ.

මොකක්ද මේ ලොක්ඩවුන්?

ලොක්ඩවුන් එකක් කියන්නෙ හදිසි අවස්ථාවක ආරක්ෂාව උදෙසා, තාවකාලිකව, බාහිර තර්ජනයෙන් ආවරණය වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගයක්.

ලොක්ඩවුන් එකක් කරන්න ප්‍රධාන හේතුවක් තමයි ත්‍රස්තවාදී තර්ජන. ඒ වගේම සමහර ස්වාභාවික විපත් වලදීත් ලොක්ඩවුන් එකක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. තර්ජනයට ලක්වෙන පුද්ගලයන් තර්ජනයෙන් තාවකාලිකව ආරක්ෂා කිරීමට තමයි මේ ලොක්ඩවුන් කිරීම පාවිච්චි කරන්නෙ. අපේ රටේ මේ වගේ ලොක්ඩවුන් එකක් දාපු මෑතම අවස්තාව තමයි පාස්කු ප්‍රහාරය. මේ අවස්තාවේදී විවිධ අවස්ථා වල රටටම බලපාන පරිදිත්, සමහර අවස්ථා වල තෝරාගත් ප්‍රදේශ වලත් ලොක්ඩවුන් කිරීම් සිදු කරා.

ඇයි ලොක්ඩවුන් එකක් අවශ්‍ය?

තර්ජනය දරුණු නම්, සාමාන්‍ය ආරක්ෂක උපක්‍රම වලින් ආරක්ෂාව තහවරු කරගන්න බැරිනම් එහෙමත් නැත්තං තර්ජනයට ප්‍රතිචාර දැක්වීමට කාලයක් ගතවෙනවා නං හදිසි ක්‍රියාමාර්ගයක් හැටියට ලොක්ඩවුන් කිරීමක් සිදු කරනව.

ලොක්ඩවුන් කියන්නෙ ඇඳිරිනීතියට ද?

එහෙමම නෙවෙයි. ලොක්ඩවුන් වර්ග දෙකක් තියනව.

Preventive lockdown (නිවාරක අගුළුලෑම)

තර්ජනය ගැන කලින් ඉව වැටිල තියෙද්දී, ඒ වගේම අපේ ආරක්ෂක යාන්ත්‍රණයේ ඇති සීමා සහ දුර්වලතා හඳුනාගෙන තියෙද්දි තමයි මේ වර්ගයේ ලොක්ඩවුන් එකක් කරන්නෙ. මෙතනදි නම්‍යශීලී, පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රියාමාර්ග ගණනාවක් තමයි ගන්නෙ.

උදාහරණයක් ගත්තොත් බුද්ධි අංශ දැනගන්නව යම් ආකාරයක ත්‍රස්ත ප්‍රහාරයක් එන්න ඉඩ තියනව කියල. මේ වගේ අවස්ථාවක අදාළ ප්‍රහාරයේ ඉලක්ක මොනවද, කවුද ප්‍රහාරය දියත් කරන්නෙ, කොයි කාලෙ ද, කොහේ ඉඳන්ද ප්‍රහාරය දියත් කරන්නෙ වගේ කාරනා සලකා බලල හදිසි සෝදිසි, මාර්ග බාධක, ඉලක්ක වෙන ස්ථාන වලට විශේෂ ආරක්ෂක වැඩපිළිවලවල් යෙදීම, මුර සංචාර වගේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. අපි කොටි තස්ත්‍රවාදය තියන කාලේ කරේ මෙහෙම ලොක්ඩවුන් තමයි.

Emergency lockdown (හදිසි අගුළුලෑම)

මෙන්න මෙතනදි තමයි අර ඇඳිරිනීතිය සම්බන්ධ වෙන්නෙ. හිතන්න එකපාරටම හදිසි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙනව. ආරක්ෂක අංශ සතුව ඒ ගැන තියෙන්නෙ සුළු තොරතුරු ප්‍රමාණයක්. මෙන්න මේ වගේ අවස්ථාවල තමයි හදිසි ලොක්ඩවුන් එකකට යන්නෙ. මේක තරමක් දැඩි ක්‍රියාමාර්ගයක්. හැබැයි හදිසි ලොක්ඩවුන් එකකදි වත් කාටවත් එන්න යන්න බැරි වෙන්න වහන්නෙ නෑ. අත්‍යවශ්‍ය පුද්ගලයන්ට පද්ධතියට ඇතුල්වෙන්න සහ පිටවෙන්න ඉඩ දෙන්න ඕනි.

දැන් ලංකාවට ලොක්ඩවුන් එකක් අවශ්‍යද?

හදිසි ලොක්ඩවුන් එකක් නං ඕනිම නෑ. හැබැයි නිවාරක ලොක්ඩවුන් එකක් ක්‍රියාත්මක කිරීමේ වරදක් නෑ.

අපි මුලින්ම බලන්න ඕනි තර්ජනය මොකක්ද කියන එක. ඒ වගේම තර්ජනය එන්නේ කොහොමද කියන එකත්. දැන් ඇවිත් තියන තර්ජනය ත්‍රස්තවාදී තර්ජන වගේ එකක් නෙවෙයි. මේක වේගයෙන් සම්ප්‍රේෂණය වෙන රෝග තත්වයක්. වාතයෙන් සම්ප්‍රේෂණය වෙනව කිව්වට මේක ගොඩක්ම සම්ප්‍රේෂණය වෙලා තියෙන්නෙ ස්පර්ශයෙන්. එහෙමත් නැත්තං ආසාදිතයන් සමීපව ඇසුරු කිරීමෙන්. ඉතිං මේ අවස්ථා ටික පාලනය කරගන්න පුළුවන් නං ලොක්ඩවුන් එකක් කොහොමත් ඕනි වෙන්නෙ නෑ.

තර්ජනය දරුණු එකක් නෙවෙයි. ඒ වගේම අනපේක්ෂිත එකකුත් නෙවෙයි. ඒ වගේම තර්ජනය ගැන තියන දැනුවත් භාවයත් ඉතාම ඉහලයි.

දැන් කරන්න ඕනි මොනවද?

ලොකුම වගකීම තියෙන්නෙ මිනිස්සු අතේ.

මිනිස්සු :-

  • තමන්ගේත් තමන්ගෙ පවුලේ අයගෙත් ආරක්ෂාව ගැන හිතන්න ඕනි.
  • ලොකුකම් පණ්ඩිතකම් නොකර සෞඛ්‍ය අංශ දෙන උපදෙස් පිළිපදින්න ඕනි.
  • සන්සුන් වෙන්න ඕනි.
  • බොරු ප්‍රචාර කරල මිනිස්සු කුලප්පු නොකර ඉන්න ඕනි.
  • අවධානයෙන් ඉන්න ඕනි - විශේෂයෙන් ලොකුකම් පණ්ඩිතකම් කරන අය ගැන.

ආණ්ඩුව :-

  • ජනතාව ඒකරාශී වෙන්න තියන අවස්ථා අඩු කරන්න ඕනි. ඒ කියන්නෙ තහනම් කරන එක නෙවෙයි. රාජ්‍ය ආයතන වල අත්‍යවශ්‍ය කොටස් විතරක් සක්‍රීයව තියල අනිත් කොටස් වහන්න ඕනි.
  • ප්‍රවාහණ සේවය හොඳින් ක්‍රියාත්මක කරන්න ඕනි. කොච්චි එහෙම ඔක්කොම වැඩ කරවන්න ඕනි. එතකොට මිනිස්සු තදබදේ වාහන වල යන එක අඩු වෙනව.
  • අත්‍යවශ්‍ය සැපයුම් ක්‍රමවත්ව ක්‍රියාත්මක කරන්න ඕනි.

පුද්ගලික අංශය :-

  • ලාභය ගැන හිතන්නේ නැතුව මේ වෙලාවෙ සේවකයන්ට නිවාඩු දෙන්න ඕනි. නිවාඩු දෙන්න අමාරුම නං සුළු වශයෙන් සේවක පිරිස් අරගෙන ආරක්ෂක ක්‍රමවේද යටතේ රැකියාවේ යොදවන්න ඕනි.
  • ගෙදර ඉඳල වැඩ කරන්න පුළුවන් නං ඒ පහසුකම් සපයන්න ඕනි.

හදිසි ලොක්ඩවුන් එකක් කියන්නෙ මුහුණදෙන්න අමාරුම ක්‍රියාවක්. දවසක් දෙකක් කළමනාකරණය කරන්න පුළුවන් උනත් දවස් 14ක් වගේ නං කොහොමත් බෑ. ඒ වගේ ක්‍රියාමාර්ගයකින් එන අනිටු විපාක සෑහෙන කාලයක් බලපාන්න පුළුවන්. ඒ වගේම රෝගය පාලනය කරත් රෝග නිවාරණයේ ඉදිරි කටයුතු වලට නරක විදිහට බලපාන්නත් පුළුවන්.

අපි හිතමු දවස් 14ක් හදිසි ලොක්ඩවුන් එකක් කරා කියල. දැන් ආයතන වල වැඩ ගොඩගැහිල. ආයෙ වැඩ පටන්ගන්නකොට ලොකු වැඩ ප්‍රමානයක් කරන්න සිද්ධ වෙනව.

දැන් හිතමු දවස් 14 ක්‍රියාමාර්ගය නිසා රෝගය බෝවෙන එක අඩු උනා කියල. දැන් මිනිස්සු ආයෙත් පරණ විදිහටම ඊටත් වඩා කඩිමුඩියේ වැඩ කරන්න ගන්නව. සමහර විට ලොක්ඩවුන් එක නිසා තර්ජනය නොසලකා හරින්නත් ඉඩ තියනව. ඒ හරහා නැවතත් රෝගය පැතිරෙන්න ඉඩ තියනව.

කරන්න තියන හොඳම දේ මොකක්ද?

කරන්න තියන හොඳම දේ තමයි සමාජ දුරස්ථ කිරීම. ඒ කියන්නෙ වෛරසය ව්‍යාප්ත වෙන එක නවත්තන්න ජනතාව විසින්ම ස්වයං නිවාරණ ක්‍රියාමාර්ග ගන්න එක. මේක නීති දාල, පස්සෙන් පන්නල කරන්න පුළුවන් දේවල් නෙවෙයි. බුද්ධිය විසින් මෙහෙයවල කරන්න ඕනි දේවල්.

ඊළඟට රජය විසින් යම් දුරකට නිවාරණ ලොක්ඩවුන් එකක් කරන්න ඕනි. මේක මිනිස්සුන්ට දැනෙන මට්ටමින් කරන්නම අවශ්‍ය නෑ. බුකියේ පණ්ඩිතයන්ට වඩා අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් ගෙ උපදෙස් අනුව වැඩ කරන්න ඕනි. මෙහෙම කරද්දි සලකන්න ඕනි වැදගත්ම දේ තමයි අනතුර අවතක්සේරු නොකිරීම.

යම් රටක් මේ වගේ අවස්ථාවකදී හදිසි ලොක්ඩවුන් කිරීමකට යනව කියන්නෙ ඒ රටේ මිනිස්සු මෝඩ, තක්කඩි ජාතියක් කියන එකේ දර්ශකයක්. නිසි සෞඛ්‍ය පුරුදු නැති, අනිත් අය ගැන නොහිතන, ආත්මාර්ථකාමී මිනිස්සු ඉන්න රටක තමයි ඒ වගේ තත්වයක් ඇති වෙන්නෙ.

මුලාශ්‍ර :-

Lockdown

Emergency procedure

University of Chicago - Safety and Security - Lockdown

University of Chicago - Safety and Security - Social Distancing

Fayette County Public Schools - What is lockdown?

Cover photo

Comments

comments powered by Disqus