ඇයි කිව්වෙ නැත්තෙ?

Adeesha
Written by Adeesha on
ඇයි කිව්වෙ නැත්තෙ?

මේ වෙද්දි ෆේස්බුක් වල “ට්‍රෙන්ඩ්” එකක් වෙලා තියන දෙයක් තමයි නිරාගමිකත්වය. ගොඩක් තරුණ තරුණියෝ තමන් නිරාගමික බව පෙන්වන්නත්, තමන් සාමාන්‍ය සමාජයට වඩා “වෙනස්” විදිහකට සිතන බව පෙන්වන්නත්, තමන් ආගමික බැඳීම් වලින් තොර චින්තනමය වශයෙන් ස්වාධීන බව පෙන්වන්නත් උත්සුක වෙනව. මේ ලිපියෙන් උත්සාහ ගන්නෙ නිරාගමිකත්වය ගැන විග්‍රහයක් කරන්න නෙවෙයි. නිරාගමිකයන් මතුකරන පොදු ප්‍රශ්නයකට උත්තර දෙන්න.

(මෙහි “නිරාගමික” යන්නෙන් නිරාගමිකයන්, හේතුවාදීන්, භෞතිකවාදීන් යන සියල්ලම අදහස් කරන බව සලකන්න. න්‍යායාත්මකව ඔවුන් එකිනෙකාගෙන් වෙනස් වන නමුත් ප්‍රායෝගිකව ඔවුන්ගේ හැසිරීම් සමාන බැවින් මෙහිදී ඔවුන් සියල්ල “නිරාගමික” ලෙස හඳුන්වනු ලැබේ)

ඒ ප්‍රශ්නය තමයි “ඇයි බුදුහාමුදුරුවො කිව්වෙ නැත්තෙ?” කියන ප්‍රශ්නය.

ඇයි පොළව ගෝලාකාරයි කියල කිව්වේ නැත්තෙ? ඇයි පොළව ඉර වටේ යනව කියල කිව්වෙ නැත්තෙ? ඇයි ඩයිනසෝරයො ගැන කිව්වේ නැත්තෙ? වගේ ප්‍රශ්න නිරාගමිකයන් අතින් නිතරම මතුවෙනව. ඒ වගේම ඔවුන් නිතරම කියන දෙයක් තමයි බුදුහාමුදුරුවො අමුතු දෙයක් දේශනාකරල නෑ ඒකාලයේ තිබ්බ දැනුමම තමයි දේශනා කරල තියෙන්නෙ කියල. ඉතිං මේ වගේ ප්‍රශ්න වලට සාධාරණ පිළිතුරක් දෙන්න තමයි මේ උත්සාහය.

අපි හැමෝම දන්න දෙයක් තමයි බුදුහාමුදුරුවො හිටියෙ දැනට අවුරුදු දෙදහස් පන්සීයකට විතර කලින් කියන එක. අද කාලයේ තියන විද්‍යාත්මක දැනුම එක්ක ගත්තොත් ඒ කාලයේ මිනිස්සු දැනගෙන හිටපු දේවල් අපිට විහිලු වගේ පේන්න පුළුවන්. අද වෙද්දි අපිට ලෝකය පැතලියි, ඉර පොළව වටේ යනව වගේ දෙයක් කිව්වොත් හිනා යන එක නවත්වන්න බෑ. හැබැයි ඒ කාලයේ මිනිස්සුන්ට ඒක තමයි සත්‍යය වෙලා තිබ්බෙ.

බුදුහාමුදුරුවො තමන් වහන්සේගේ සුත්‍ර දේශනා බොහොමයක් කරල තියෙන්නෙ කවුරු හරි අහපු ප්‍රශ්නයකට පිළිතුරු හැටියට. ඒ ප්‍රශ්න අහපු අයත් ගොඩක් වෙලාවට ප්‍රශ්න අහල තියෙන්නෙ විද්‍යාත්මක දේවල් ගැන නෙවෙයි. එහෙම විද්‍යාත්මක නොවන ප්‍රශ්න අහපු අයටත් විවධ දේවල් පැහැදිලි කරන්න උදාහරණ හැටියට අරගෙන තියෙන්නෙ එදිනෙදා පාවිච්චිකරපු දැනුම. දැන් අපි උදාහරණ ඇසුරෙන් මේ කාරනාව දිහා බලමු.

සාමාන්‍ය උදාහරණ සහිතව කරන දේශනය

ක්‍රි.පූ. 5වන සියවස

දේශකයා :- දැන් බලන්න දවසකට ඉර කොච්චර දුරක් යනවද කියල. අන්න ඊටත් වඩා ලොකු දුරක් සත්පුරුෂයාගේ සහ අසත්පුරුෂයාගේ ගුණ අතර තියනව.

ශ්‍රාවකයා :- එහෙමයි ස්වාමීනි. ඒ කියන්නෙ සත්පුරුෂයා අසත්පුරුෂයාට වඩා ගොඩක් මෝක්ෂයට ලඟයි කියන එක.

ක්‍රි.ව. 21වන සියවස

දේශකයා :- දැන් බලන්න පොළව ඉර වටේ කොච්චර දුරක් යනවද කියල. අන්න ඊටත් වඩා ලොකු දුරක් සත්පුරුෂයාගේ සහ අසත්පුරුෂයාගේ ගුණ අතර තියනව.

ශ්‍රාවකයා :- එහෙමයි ස්වාමීනි. ඒ කියන්නෙ සත්පුරුෂයා අසත්පුරුෂයාට වඩා ගොඩක් මෝක්ෂයට ලඟයි කියන එක.

ඉහත අවස්ථා දෙකේදීම උදාහරණයට වඩා අවධානය යොමුවෙන්නෙ ප්‍රධාන කාරණය පැත්තට.

අසාමාන්‍ය උදාහරණ සහිතව කරන දේශනය

ක්‍රි.පූ. 5වන සියවස

දේශකයා :- දැන් බලන්න පොළව ඉර වටේ කොච්චර දුරක් යනවද කියල. අන්න ඊටත් වඩා ලොකු දුරක් සත්පුරුෂයාගේ සහ අසත්පුරුෂයාගේ ගුණ අතර තියනව.

ශ්‍රාවකයා :- ස්වාමීනි ඔබ මොකක්ද මේ කියන්නෙ. පොළව කොහෙද ඉර වටේ යන්නෙ. ඉරනේ පොළව වටේ යන්නෙ. හැමෝටම පේන සත්‍ය නැතුව ඔබ කියන්නෙ බොරුනේ. මම කොහොමද ඔබ කියන දේ විශ්වාස කරන්නෙ?

ක්‍රි.ව. 21වන සියවස

දේශකයා :- දැන් බලන්න ඉරේ මැද තියන අයිස් ගෝලය අච්චර උණුසුමක් මැද්දේ නොවෙනස්ව තියනව වගේ අසත්පුරුෂයන් මැද උනත් සත්පුරුෂ ගුණ රැකගනිමින් ඉන්න ඕනි.

ශ්‍රාවකයා :- මොන බොරුද ස්වාමීනි. ඉරේ මැද අයිස්? ඒක කොහොමත් වෙන්න බෑ. ඉරේ මැද තියන උෂ්ණත්වය බොහොම වැඩියි. කෙල්වින් මිලියන පහළවක් විතර වෙනව. කිසිම විද්‍යාත්මක න්‍යායකින් ඔය කතාව ඔප්පු කරන්න බෑ. ඔබ බොරු කියන්නෙ. මම කොහොමද ඔබ කියන දේ විශ්වාස කරන්නෙ?

(සැ.යු. අසාමාන්‍ය උදාහරණ සහිතව 21වන සියවසේ කරන දේශනාවට වෙනස්ම උදාහරණයක් ගත්තෙ මගේ දැනුමත් අද තියන දැනුමට සාපේක්ෂ නිසා. මෙතන මම උපකල්පනයක් කරා ක්‍රිස්තුවර්ෂ 4000දි විතර විද්‍යාඥයින් ඉරේ මැද ලොකු අයිස් ගෝලයක් තියන බව සොයාගන්නව කියල. එහෙම අධික උෂ්ණත්වයක අයිස් තියෙන්නෙ කොහොමද කියන එකත් ඒ කාලයේ විද්‍යාවෙන් පැහැදිලි කරනව කියල.)

දැන් අසාමාන්‍ය උදාහරණ සහිතව කරන දේශනයේදී වෙන්නෙ මතුකරන්න ඕනි කරුණ මතුනොවී වෙනත් කරුණු මතුවීම. මේකෙදි දේශකය කෙරෙහි ශ්‍රාවකයාගේ තියන විශ්වාසය පලුදු වෙනව. දේශකයාට දෙන්න ඔනිවෙච්ච පණිවිඩය දෙන්න බැරි වෙනව. ඉතිං බුද්ධිමත් දේශකයෙන් කරන්නෙ අහන කෙනාට තේරෙන උදාහරණ පාවිච්චිකරල තමන්ගෙ දේශනය කරන එක. එහෙම නැතුව තමන්ගෙ දැනුම පෙන්නන්න අහන කෙනාට නොතේරෙන දේවල් කිව්වොත් එතැනදී දේශකයා අසාර්ථක වෙනව. දේශකයාට තමන්ගෙ දේශනයේ පරමාර්ථ ඉටුකරගන්න බැරි වෙනව.

දැන් අපි නිකමට බලමු අර අසාමාන්‍ය උදාහරණයක් දෙන 21වන සියවසේ අවස්තාවෙ අපේ නිරාගමිකයෙක් හිටිය කියල. එහෙම උනොත් තත්වය තවත් බරපතල වෙන්නව. මාස ගානම් ෆේස්බුක් එකේ ඔය ගැන පළකිරීම් පළවෙන්නත් ඉඩ තියනව.

අපි හැමවෙලේම අමතක කරන දෙයක් තමයි අපේ දැනුම නිතරම අලුත්වෙනව කියන එක. ඒ වගේම අපේ දැනුම අතීතයටත් අනාගතයටත් එකවගේ වලංගුවෙන්නෙ නෑ කියන එක. විශේෂයෙන්ම අතීතය ගැන බලද්දී අපි එදා තිබ්බ තත්වය සැලකිල්ලට ගන්න ඕනි. ඒ වගේම අපි අපිව උදාහරණයට අරගෙන කටයුතු කරන්නත් ඕනි.

Comments

comments powered by Disqus